න්‍යෂ්ඨීක විද්‍යාව හා තාක්ෂණය පිලිබඳ ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවය, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පුරෝගාමී සාමාජිකයකු බවට පත්වීමත් සමඟ 1957 සිට ආරම්භ විය.

මින් පසුව 1962 දී කොළඹ විශ්ව විද්‍යාලයේ විකිරණ සමස්ථානික ඒකකය පිහිටුවීමත් 1969 අංක 19 දරණ පරමාණුකශක්ති අධිකාරී පණත මඟින් පරමාණුක ශක්ති අධිකාරිය 1970 දී පිහිටුවීමත් සිදුවිය.

පරමාණුකශක්ති අධිකාරී පනත මඟින් එවකට තිබූ පරමාණු ශක්ති අධිකාරියට ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා  න්‍යෂ්ඨික තාක්ෂණයේ යෙදීම් දිරි ගැන්වීම හා විකිරණ ක්‍රියාකාරකම්වල යෙදී සිටින සේවකයන් හා ජනතාව විකිරණවල භයානක විපත් වලින් ආරක්ෂා කිරීම යන වගකීම් දෙක පවරා තිබිණි.

2014 දක්වා පරමාණු ශක්ති අධිකාරිය විකිරණශීලී ද්‍රව්‍ය හා විකිරණ භාවිතය පිලිබඳ නියාමන අධිකාරිය වූ අතර එය වෛද්‍ය, කර්මාන්ත,  කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවල න්‍යෂ්ඨික තාක්ෂණය සඳහා පහසුකම් සලසන ජාතික ආයතනය සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ නියෝජ්‍යය ආයතන ලෙසද ක්‍රියාකරන ලදි.

පරමාණුක ශක්ති අධීකාරියට පර්යේෂණ පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක් ස්ථාපිත කිරීමෙන් පසුව ආයතනයේ විකිරණ සම්බන්ධව කටයුතු ප්‍රසාරණය වූ අතර ඉන් පසුව ස්වාධීන නියාමන අධිකාරියක අවශ්‍යතාවය වැටහිණි.

2001 දී ඉදි කරන ලද පරමාණු ශක්ති අධිකාරියේ ගොඩනැගිල්ල

2014 අංක 40 දරණ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත 2014 ඔක්තෝම්බර් දින නීතිගත වූ අතර එමඟින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව (ශ්‍රී.ප.බ.නි.ස.) හා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (ශ්‍රී.ප.බ.ම.) ලෙස ආයතන දෙකක් ඇති විය.මෙම ආයතන දෙක බිහිවීමත් සමඟ පරමාණුක ශක්ති අධිකාරිය අහෝසි වූ අතර සාමකාමී කටයුතු සඳහා විකිරණ යොදා ගැනීමේදී ජනතාවගේ සහ පරිසරයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා නියාමන තන්ත්‍රයක් ඇති කිරීමේ වගකීම පරමාණුක බලශක්ති නියාමන සභාවට පවරා ඇති අතර න්‍යෂ්ඨික තාක්ෂණයේ යෙදීම් ප්‍රවර්ධනය කිරීමේ වගකීම් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය වෙත පවරා ඇත.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව 2015 ජනවාරි 01 දින ආරම්භ වූ අතර එය ජනතාව හා පරිසරය අනවශ්‍ය විකිරණ වලින් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වන නියාමන තන්ත්‍රයක් ඇති කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ වගකීම දරණු ඇත.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනතේ නියෝග ඉෂ්ඨ කිරීම සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව මඟින් විකිරණ හා විකිරණශීලී ද්‍රව්‍ය භාවිතා කරන සියළුම පුද්ගලයින් සඳහා බලපත්‍ර හා පරීක්ෂා කිරීමේ ක්‍රම‍වේදයක් ඇති කල යුතු අතර විකිරණශීලී ද්‍රව්‍ය ආනයන හා අපනයන පාලනය, විකිරණශීලී අපද්‍රව්‍ය බැහැර කිරීම කලමනාකරණය, විකිරණශීලී ප්‍රභව වල භෞතික ආරක්ෂාව සහතික කිරීම, විකිරණ ආපදාවකදී ප්‍රතිචාර දැක්වීමේ හැකියාව දියුණු කිරීම, න්‍යෂ්ඨික ආරක්ෂණ ගිවිසුම සම්බන්ධ ශ්‍රී ලංකාවේ බැඳීම් ඉෂ්ඨ කිරීම සහ ඉහත කටයුතු සඳහා අවශ්‍ය වන නීති හා නියාමන රාමුව ඇති කිරීම වැනි කටයුතු කලයුතුව ඇත.